මීලඟට එන කතන්දර ගැන ඔත්තුවක්!

මීලඟට ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල් කොටුවේ චූටි මහත්තයා කියන්න යන්නේ එයා පාසලේ දී මුහුණ දුන්නු සිදුවීමක් ගැන. චූටි මහත්තයා ඉස්කෝලෙ යන කාලේ ඉස්කෝල වලට හරි අරුම පුදුම නීතියක් ආවා. ඒ මහ මිනිස්සු වැඩට යද්දි වගේ ඉස්කෝලේ යන ළමයින්ටත් බත් මුලක් අරගෙන ඉස්කෝලෙට එන්න කියපු එක.  ඒ ගැන කතාව චූටි මහත්තයා පටන් ගන්නේ මෙන්න මෙහෙමයි.

කාලෙක ඉදලා ටීවී වල රේඩියෝ වල අමුතු හා හූවක් ගියා. ඉස්කෝලේ ළමයිගේ දවල් කෑම වේල ගැන. ඒවයේ කියවුනේ ළඟදිම ඉස්කෝලෙ ළමයින්ට ඉස්කෝලේදී ම දවල් කෑම ගන්න සිද්ධ වේවි කියලා.

ඉස්කෝලේට කෑම ගෙනියන්න වෙනවා කිව්ව හැටියේ අපි කව්රු කව්රුත් හොඳටම සතුටු වුනා. අපි කතා වුනා දැන් තමා ළමයින්ට ම වෙන්වුනු ලෝකයක් හැදීගෙන එන්නේ කියලා. ඒ මොකද යාන්තමට සීනි ඩිංගක් ඉහපු හරි, ඇතුලට රතු පාට ජෑම් බිඳක් මැදි කරපු හරි බනිස් ගෙඩියක් දවල් කෑම හැටියට ලැබෙයි කියලා අපි කව්රුත් විශ්වාස කළ හන්දා. ඒත් හැම බලාපොරොත්තුවක් ම සුන්වුනේ අපි කව්රුත් නොහිතපු තාලෙට. ගුරු දෙගුරු රැස්වීමෙදි කියවුනාලු, හරිහමන් කෑම වේලක් ගෙනාවේ නැත්තම් නමට කෙලින් කතිරේ වැටෙනවා කියලා. එහෙම වුනොත් මාසේ අන්තිමට සමූපකාරෙන් බඩු ගන්න ලැබෙන මුද්දරයට ඒ කතිර ටික එකතු වෙනවා. ඉතින් අකමැත්තෙන් හරි අපේ බලාපොරොත්තු පැත්තකට දාලා විවේක කාලෙදී හොඳිත් එක්ක බත් ගිලින්ඩ අපි හිත හදා ගත්තා. එක සඳුදා දවසක උදේම අපිත් මහ මිනිස්සු වැඩට යද්දි වගේ බත් මුලකුත් අරගෙන ඉස්කෝලෙ යන්න පිටත් වුනා.
මේ තියෙන්නේ ඒ කතාවට ඇඳුනු සිතුවමක්......

0 comments:

Post a Comment

චූටි මහත්තයා පිළිබඳ ඔබගේ ප්‍රතිචාරය පහල තීරයේ සටහන් කරන්න. ඔබගේ ප්‍රතිචාරය අනුමත කිරීමෙන් පසු මෙහි පළ වේ.