ඇස්බැන්දුම කතාව ගැන වග විස්තරය

මීට දශක දෙකහමාරකට, තුනකට කලින් කාලයේ චූටි මහත්තයා ජීවත් වූ ගම්මානය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික යැයි අප හඳුනාගෙන ඇති ගම්මාන වලට වඩා තරමක් වෙනස් වූවකි. ඒ අප රටේ විවිධ ගම්මාන තුල පිහිටි ලක්ෂණයන්ගේ එකතුවක් මේ ගම්මානය තුළ පැවතීමයි. මෙහි එක් පසෙක කුඹුරු යායක් තිබුනද, මුළු ගම්මානයම එකම පොල් වත්තක් වැනිය. රජය විසින් මුල් කාලයේ දී වනාන්තර හෙලි පෙහෙලි කර පොල් වගා කිරීමට මිනිසුන් උනන්දු කළ නිසා චූටි මහත්තයාගේ කාලය වන විට මුලු ගම්මානයම එකම පොල් යායකි. ගමේ යමක් කමක් ඇති උදවිය සිය පොල් වත්තේ සත්ව ගොවිපල, හේන් වගා කටයුතු මෙන් ම කෙහෙල් වගාවද ජයට කරගෙන ගියෝය. මේ ගම්මානය සාම්ප්‍රදායික නොවන ගම්මානයක් යැයි පැවසීමට තවත් හේතුවක් වන්නේ මේ ගැමියන්ගේ රැකියාව සහ ජීවන රටාවයි. ගමේ ඇතැම් උදවිය නගරයේ ඇතැම් ආයතන වල රැකියා කළ අතර ගමේම ස්වයං රැකියා කළ අයත් බොහෝ විය. කුඹුරු වල අයිතිය බොහෝ ගැමියන්ට හිමිව තිබුනද ඔවුන් එවා කලේ තමන්ට අමතර ආදායමක් උපයා ගැනීමටයි. මේ කතාවේ එන චූටි මහත්තයගේ පියාගේ රැකියාව වූයේ ගමේ පිහිටි තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපති තනතුරයි.

මේ කාලයේ රූපවාහිනිය ගම්මාන කරා සංක්‍රමනය වී නොතිබිණි. නමුත් ඇතැම් ගම්මාන වල ඇති සමහරක් නිවෙස් වල පමණක් බැටරියෙන් ක්‍රියාත්මක වන කලු සුදු රූපවාහිනී යන්ත්‍ර තිබුනි. සමහර විට මුළු ගමටම රූපවාහිනි යන්ත්‍රයක් ඇත්තේ එකම එක නිවෙසක පමණි. මේ කතා මාලාවේ එන චූටි මහත්තයා චරිතයටද ෂර්වුඩයේ රොබින් යන නාමය පටබැඳෙන්නේ ද රූපවාහිනියක් නිසා සිදු වන අලකලංචියක් හේතුවෙනි.

චූටි මහත්තයා ජීවත් වූ ගම්මානයේ නිවෙස් වල රූපවාහිනී යන්ත්‍ර කිහිපයක් තිබුනද, ඒවාට ගමට පැමිණෙන නයි නටවන්නන්, නාට්‍ය කරුවන්, ප්ලාස්ටර් ඔෆ් පැරිස් නම් පුදුම සහගත ද්‍රව්‍ය අච්චු වලට යොදා රූප අඹන්නන්, මෙන්ම සර්කස්කරුවන් ද එතෙක් හිමි කර ගෙන තිබූ තැන හිමි කර ගැනීමට නොහැකි වී තිබිණි.
 
ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල් කොටූවේ චූටි මහත්තයාගේ මේ ඇස්බැන්දුම කතාව දිගහැරෙන්නේ ගමට  සර්කස්කරුවෙක් හා ඔහුගේ පුතා පැමිණීමත් සමඟය. ඔවුන් සමඟ පැමිණෙන අරුම පුදුම බල්ලා නිසා චූටි මහත්තයාගේ යටපත් ව තිබූ අරමුණු, මිතුරන් හට හදිසියේ ඉපදෙන බලාපොරොත්තු වලට අමුතු පණක් ලැබේ.

තැනින් තැන ගොස් සර්කස් පෙන්වා අමතර ආදායමක් උපයා ගන්නා මේ සර්කස්කරුවා සහ ඔහුගේ පුතාගේ ජීවන අන්දරයේ එක් පැතිකඩක් මෙහි තැවරී තිබුන ද, මේ කතන්දරය අතිශය හාස්‍ය මුසු බස් වහරකින් චූටි මහත්තයා ඔබට කියන්නේ අප කිසිවිටෙක නොසිතන අවසානයක් ඔබට පවසා අතීතයේ එක්තරා දවසක සිදුවුනු මේ සිදුවීමට නිසි වටිනාකමක් සපයමිනි.

_________________________________________________________________

ඇස්බැන්දුම කතාවේ අවස්ථාවක්.

‘‘අපි ආවේ ඔයාගෙන් පොඩි උදව්වක් ඉල්ලගන්න?‘‘

‘‘මොකද්ද?“ මිනිහා මායාකාරයගේ ඇඳුම පැත්තක තියලා අපි දිහා සැකෙන් බැලුවා.

‘‘කරදරයක් නැත්තං........, අපිට කියලා දෙන්න පුලුවන්ද බල්ලා අර විදිහට ඉක්මනට ගණිත ගැටලු විසඳන හැටි......?‘‘

මිනිහා ඒ පාර කල්පනා කරන්න ගත්තා.

‘‘අපි කාටක්කත් කියන්නේ නෑ, මේ මේ...... මම ටිකක් ගණිතයට දුරුවලයි...... හැමදාම ගුටි පූජාවක් නං වරදින්නේ නෑ.....“ අසේල ඕනම වුනොත් කියන්න වටින වචන පේලියන් කලින්ම කියලා දැම්මා. මිනිහට ඒ තරමට උනන්දුව.

_________________________________________________________________


0 comments:

Post a Comment

චූටි මහත්තයා පිළිබඳ ඔබගේ ප්‍රතිචාරය පහල තීරයේ සටහන් කරන්න. ඔබගේ ප්‍රතිචාරය අනුමත කිරීමෙන් පසු මෙහි පළ වේ.