කෙහෙල් කොටුවේ චූටි මහත්තයා කියන්නේ කවුද?

අද මෙන් නොව, එදා පෘථිවිය අතිශයින් විශාල වස්තුවක් වූ අතර, එය හිරු වටා නිස්කලංකව භ්‍රමණය විය. ගත වන කාලය ගැන වද නොවුනු අපි හිරු කිරණ දිගේ පෘථිවිය තරණය කලෙමු.


ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් ඇන්දා වැනි පෘථිවිය මතුපිට සිතුවම දිනපතා අලංකාර කරන දැල් වියන මකුළුවෝ, ගස් දිගේ පල්ලම් බහින දළඹුවෝ, මල් ගස් අතර වේගයෙන් වංගු නමන බත් කූරෝ සහ තවත් මිලියනයක් අලංකරණ ශිල්පීහු, අප ට එදිනෙදා හමුවන සාමාන්‍ය පුරවැසියෝ වූහ.

දෙමාපියෝ, නෑදෑයෝ, වැඩිහිටියෝ සහ ගුරුවරු අපට නිරන්තරයෙන් මේ මතුපිට සිතුවමෙහි තමන් දුටු අත්දැකීම් අවබෝධ කරවීමට උත්සහ කළෝ ය. නමුත් සිදුවන අත්වැරදි ගැන වදනොවුණු අපි තවමත් පෘථිවි තලයේ ඔවුන්ට හමු නොවුනු නැවුම් වර්ණ සොයා කාලය හරහා දිගටම ගමන් ගත්තෙමු.

අද වන විට පෘථිවිය බොහෝ සෙයින් කුඩා වී ඇති අතර, අපගේ ඉන්ද්‍රීය සංවේදීතාවය දෙවෙනි වන තරමට එහි භ්‍රමනය වේගවත් වී ඇත. එහෙත් කලකට ඉහත දී, ඔවුන් හා අප සෑබෑවටම මුහුණ දුන් සිදුවීම් විසින් සිතෙහි සිතුවම් කළ ඒ භාවාතීශය සුන්දර වූ ළමා කාලය නැමැති සිතුවමට එයින් කිසිදු හානියක් වුයේ නැත.

ෂර්වුඩයේ රොබින් හෙවත් කෙහෙල් කොටුවේ චූටි මහත්තයා යනු මීට දශක දෙකහමාරකට පමණ පෙර ලෝකය නිස්කලංකව පැවති සමයේ සිය ළමා කාලය ගෙවාදැමීමට වාසනාව ලද දරුවෙකි. මේ කතා මාලාවේ එන්නේ ඔහුගේ දොම්නස, සොම්නස අතරෙහි ඇති තවත් ගිණිය නොහැකි හැඟීම් නැමැති පැහැයෙන් රූබර වූ ළමා කාලය නම් සිතුවමෙහි පලින් පල වූ විචිත්‍ර වර්ණ කිහිපයකි.

_________________________________________________________________

0 comments:

Post a Comment

චූටි මහත්තයා පිළිබඳ ඔබගේ ප්‍රතිචාරය පහල තීරයේ සටහන් කරන්න. ඔබගේ ප්‍රතිචාරය අනුමත කිරීමෙන් පසු මෙහි පළ වේ.