Review by
ඉන්ද්‍රනාථ තේනුවර
Posted on
- පොත ගැන වචනයක්.
මා බුද්ධි හඳුනාගන්නේ බ්ලොග් හරහා ය. මා කියවන බ්ලොග්
අතර, “කෙහෙල්කොටුවේ චූටි මහත්තා“ ගේ කතන්දර සහිත බ්ලොගය විශේෂ වෙයි.
ඔහුගේ භෘෂා රටාව අතිශය අපූරු ය. බොහෝ කෙටි සිද්ධි පවා ඉතා දිග ය. නමුත් ඒ
කෙටි වදන ලියන්නට ඔහු භාවිතා කරන උපමා උපමේයයන් නිසාවෙන් එය දිගු බවක්
නොදැනී අපට මහත් ආශ්වාදජනක ලෙස සමීප කරවයි.
එමෙන් ම ඔහුගේ චිත්‍ර ද අපූරු ය. ඔහුට ම ආවේණික ශෛලියකින් චිත්‍ර අඳියි. ඒවා සරල ය. නමුත් පුදුමාකාර ලෙසින් පණ සහිත ය.
ඒ මා දන්නා බුද්ධි ප්‍රසාද් ඔහුගේ බ්ලොගයෙන් උපුටා ගත් කොටස් පොත් වශයෙන් පළ කරන වග ඇසූ මොහොතේ මම මහත්සේ සතුටු ව ඔහුට සුබ පැතුවෙමි.
බුද්ධි මේ පොතේ ලියන සර්කස් කාරයා මට ද ජීවිතයේ අවස්ථා ගණනාවක දී ම හමු ව
තිබේ. නමුත් ඔහු මෙතරම් මට සමීප වූයේ මේ පොත කියවූවාට පසුව ය.
බුද්ධිගේ ඉතිරි බ්ලොග් සටහන් ද මෙසේ පොත් වශයෙන් එළි දක්වනු රිසියෙමි. ඊට ධෛර්යය ශක්තිය ලැබේවා යි ඉත සිතින් සුබ පතමි.
_________________________________________________________________
Review by නයනානන්ද ගුණවර්ධණ
Review by නයනානන්ද ගුණවර්ධණ
Posted on
පැහැදිලි ඉරියව් සහ හැඟීම් පෙන්වන මිනිස් රූප, ගැමි පරිසරය සහිත
පසුබිම දක්වන සිත් ඇදගන්නා සුළු වර්ණ සිතුවම්, චිත්‍ර ශිල්පියෙකු ලෙස ද ඔබේ දක්ෂතාවය සහ අනන්‍යතාවය පෙන්නුම් කරයි.
‘ඇස්බැන්දුම’ මා
මෙයට පෙර අන්තර්ජාලය තුලින් කියවා රසවිඳි කතාවක් වූවත් යලි යලිත් කියවීමේදී
අලුතින් සිතන්නට මා පෙළඹවිය. ඒ සරළ අත්දැකීම හරහා ඔබ දෙන්නට උත්සාහ කරන පණිවිඩය මෙම පොත කියවන වත්මන් ළමා පරපුර හඳුනාගනු ඇතැයි
සිතමි.
බයිසිකලයකින් තැනින් තැනට යමින් සර්කස් සහ මැජික්
පෙන්වමින් තම තම ජීවිකාව ගෙනයන ශිල්පීන් අද පිටිසර පළාත් වල පවා දක්නට ඇතිදැයි
නොදනිමි. දශක දෙක හමාරකට ප්‍රථම
ඔබ ලද අත්දැකීම මා ලැබූවේ දශක පහ හමාරකට පමණ පෙරය. බැටරියක් සහ මයික් එකක් ඔහු වෙත නොවිය. බල්ලා ගණන් එකතු කළේදැයි පැහැදිලි මතකයක් නොමැත. කෙසේ වුවද මැජික් ශිල්පය පිළිබඳව උනන්දුව සහ එය ඉගෙනීමේ
කැමැත්ත මා තුල පහළ වුයේ එදිනය.
විටින් විට මා අතින් ලියැවුණු අසම්පුර්ණ සටහන් අතර වූ එම
සිදුවීම පහත දක්වමි.
‘විජ්ජා
කරුවකු’ පිලිබඳ
මට මතක පළමු අත්දැකීම ලැබුණේ හිරියාල, පොල්පිතිගම පාසලේ දිය. ඒ 1962-63 පමණ
විය යුතුය. දිනක්
අප පාසලට පා පැදියකින් ‘විජ්ජා
කරුවකු’ පැමිණියේය. ඔහු
විජ්ජා කරුවකු මෙන්ම සර්කස් කරුවකුද විය. බයිසිකලයේ පිටිපස පෙට්ටිය මත කර වටා රැළි පටියක් පැළඳවූ
බල්ල්ලෙකු සහ ඉදිරිපස පොල්ලේ සුදු දිග කලිසමකින් සහ කෙටි සායකින් සැරසී පීත්ත
පටයකින් කොණ්ඩය සරසාගත් දැරියකද විය. ඔහු හැඳ සිටියේද දැරිය මෙන්ම අවපැහැ ගැසුණ සුදු දිගු
කලිසමක් සහ අත් දිග ෆැනල් කමිසයකි. මුල්ගුරුතුමාගේ අවසරය ලබා ඔහු දර්ශනය ඉදිරිපත් කළේය. සිසුන්
පිට්ටනිය වටා සිටිද්දී දැරිවියද සමග බයිසිකලයෙන් සමබර ක්‍රීඩා දැක්විය. බල්ලා
පා දෙකකින් ඇවිදීම සහ ගිනි වළල්ලක් තුලින් පැනීම වැනි ක්‍රීඩා ඉදිරිපත් කළේය. ටින්
එකකට අහසින් කාසි වැටෙන්නට සැලැස්වීම, සිසුවෙකුගේ කලිසම් සාක්කුවෙන් බිත්තරයක් ගැනීම, වතුර
බොන්නට දී කලිසමට යටින් පුනිලයක් අල්ලා එම වතුර වැක්කෙරෙන්නට සැලැස්වීම, පාට
පාට කුඩා කඩදාසි කැබලි ගිල යලිත් ඒවා එක් පටියක් ලෙස කට තුලින් පිටට ඇදීම
වැනි මැජික් අපට පුදුමයක් මෙන්ම විනෝදයක් ද ගෙන දුනි. දර්ශනය
අවසානයේ මුදල් එකතු කිරීමට ටින්එක රැගෙන වටයේ එද්දී අප ලජ්ජාවට පත්වීමු. වැඩිහිටි
සිසුන් කිහිප දෙනෙකු පමණක් තමන් වෙත වූ කාසි ඒ තුලට දැමීය. ගුරු
මණ්ඩලයේ මහත්ම මහත්මීන් එකතුකළ මුදලක් පසුව ඔහු අත තබනු දුටිමි. ඒ
මා දුටු ප්‍රථම වෘත්තීය ‘මැජික්
ශිල්පියාය’.
පසුකාලීනව මායා කලාව විනෝදාංශයක් ලෙස හැදෑරිමටත්, ආධුනික මැජික් ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමටත් මූලික වූ
සිදුවීම එයයි. පෞද්ගලිකව ‘ඇස්බැන්දුම’ මා අගයන්නේ එය මගෙ කතාව ද වන බැවිනි. අද දවසේ විශ්‍රාමිකයෙකු ලෙස මැජික් ශිල්පයේ ඉතිහාසය ගැන යම් හැදෑරීමක්
සහ තොරතුරු රැස් කිරීමක් කරමි. මා තෘප්තිමත් වන අයුරින් කතාව ගොඩනැගුන හොත් එම තොරතුරු ඉදිරි
දිනක පොතක් ලෙස එළි දකිනු ඇත.
_________________________________________________________________
Review by ඉෂාර ගුණවර්ධන
Posted on
- රොබින් හුඩ් සමග ගියෙමි.
බුද්ධි ගේ පොත කියෙව්වෙමි. වරක් නොව දෙවරක් ම
කියෙව්වෙමි. ඒ මා හට මග හැරුණ තවත් රසවත් දෙයක් තිබේ දැයි බැලීමටය. දෙවන
වරත් කියවන එය නැවුම් ය. පින්තූර සජීවීය. කථාවේ අපිත් චරිත බවට පත් වීමු.
සර්කස් කාරයා බලනන චූටි මහත්තයාත් එක්ක ගිය කණ්ඩායමේ මමත් සිටියේය. ඒ තරම්
සජීවීය.
මේ එක කථාවක් ය. තවත් ඉදිරියට පෙළ ගස්වා ඇත්තේ අපව “කුළප්පු“ කරන්නටය.
සැබෑ ඇස්බැන්දුම්කාරයා බුද්ධිය. “ඇස්බැන්දුමක් නැතුව වුණත් මිනිස්සු පුදුම
කරවන්න පුළුවන්“ කියන චූටි මහත්තයාගෙ වචන සැබෑය. බුද්ධි එය කර ඇත. ජය වේවා!!
_________________________________________________________________
Review by
ඕනමැන්ටල් (දිලුප් සිකුරාජපති)
Posted on
- පණ තියන චිත්‍ර සහ කතා කරන අකුරු.
කාලයක් සිංහල බ්ලොග් අස්සෙ කරක්ගහපු මට කියවන්න ලැබුන
වගේම එකම කතාව දෙතුන්පාර කියවන්න හිතුන සීමිත බ්ලොග් අතරින් එකක් තමා
සයිබර් යාය. ආසාවෙන් කියවපු ඒ කතා එකතුවෙන් ටිකක් බුක් මාක් කරගන්නවට වඩා
ගොඩක් ලස්සනවෙයි පොත් රාක්කෙක දිලිසි දිලිසි තියෙද්දි, එහෙමත්ම නැත්තං මගෙ
කෙල්ල බිම දාගෙන උඩ නැගල කියවද්දි. අනික කතා කරන ජාතියෙ පින්තූර කොළම
දාහතක් තියනව කිවුවාම කොහොමද නිකං අතාරින්නෙ .
ස්තුතියි බුද්ධි ප්‍රසාද්. ඉතිරි කතා ටික වෙනුවෙනුත් බලා ඉන්නවා.
_________________________________________________________________
Review by
හසිත ගුණසිංහ
Posted on
- කථාවක් ඇතුළේ කථා ගොඩක්!
සයිබර් අවකාශයෙන් හඳුනාගත්තු කෙහෙල් කොටුවේ චූටි මහත්තයා මුද්‍රිත මාධ්‍යයට පැමිණීම සතුටක්.
මේ පොතේ තියෙන්නේ පොඩි කථාවක් වුණත් ඒ කථාව ඇතුළේ තවත් කථා කිහිපයක්ම තියෙන
එක පොඩිහිටියන්ට වගේම වැඩිහිටියන්ටත් එක විදිහට වැදගත් වෙයි.
ඇත්තටම චූටි මහත්තයා ඇස් බැන්දුමකින් වගේම පොතක් විදිහට ඇවිත් අපිව පුදුම
කළා විතරක් නෙමේ ඒකේ තියෙන පුංචි කථාවෙන් ලොකු පණිවුඩයක් දීලා ඇස්බැන්දුමක්
නැතුවත් අපිව පුදුම කරවලා තියෙන්නේ.
_________________________________________________________________
Review by බින්දි
Posted on
- නියම ඇස් බැන්දුම් කියන්නෙ ආන්න එව්වට!
ඉස්සර මම පොත් ගොඩාක් එකතු කලා. නමුත් දැන් ඒ පොත්
පරිත්‍යාග කරන කාලය.රටින් රට යද්දි ගෙවල් මාරු කරද්දි අත් හැරීම ප්‍රගුණ
කලා. හැබැයි සැතපුම් දහස් ගණන් මාත් එක්ක ගිහින් ආපහු ආව සමහර පොත් තියෙනව අත් අරින්න බැරි. එයින් වැඩි හරිය රුසියන් සහ චීන ළමා පොත්.
මඩොල් දූව, අඹ යහළුවෝ, ඩ්ංකි වගේ දේශිය පොත්. ගිය ඉරිදා ඒ අත නාරින ගොඩට තව එකක් එකතු වුණා. කොපි දෙකක් ගත්ත. එකක් අක්ක උගන්නන පාසලේ පුස්තකාලෙට දුන්න. අනික අපේ ගෙදෙට්ට.
තෑගි දෙන්නයි තියා ගන්නයි හොඳ මේ පොත ලිව්වෙ යාළුවෙක්. එයා එක්ක යාළු වුණේ එයාගෙ කෙහෙල් කොටුවෙ තිබ්බ කාළ යන්තරේට ආස වෙලා. ඒකෙ නැගල සුන්දර ළමා කාලෙට යන්න පුළුවන් වුන නිසා.
නියම ඇස් බැන්දුම් කියන්නෙ ආන්න එව්වට. පොත දැකල අපේ කෙල්ලො දෙන්න කිව්වෙ අම්මට හරි දස්ස යාළුවො කියලයි. බ්ලොග් ගැන අපි ලොකුවට හිතා හිටියට එහෙම දෙයක් තියෙනව කියල ගුරුවරියක් වන අපේ අක්කට පැහැදිලි කරන්න වුනා. ඒ හින්දා සයිබරයේ හැOගෙන්න නොදී මේ කතා පොත් වෙන එක ගැන හුඟක් සතුටුයි. කවරයේ සිට අන්තිම පිටුව වෙනකම්ම හරිම සැළකිල්ලෙන් නිමා කරල. ලියන්නයි අඳින්නයි දෙකටම හැබෑම දස්සකමක් හැමෝටම නැහැනෙ. ඉතින් ඇස්බැන්දුමක් නැතුවම අපිව සතුටු කරනවට බුද්ධිට ගොඩක් ස්තුතියි.
_________________________________________________________________
Review by
සොඳුරු සිත - වත්සලා
Posted on
- පොතක් නෙමේ - හිතක්!
ලදු කැළේ පැන සෙල්ලම් කරපු , කෙටි පහසු පාරවල්
මගහරිමින් නියරවල් දිගේ දුවපු , වෙලේ ළිඳෙන් අතින් වතුර අරන් නාපු , දුනු
ඊතල සාදා විදිමින් සෙල්ලම් කරපු, පාසල් ගොස් ආ විගස කිඹූලා මඩ කන්නා සේ
බත්ගුලි ගිල සෙල්ලමට දුවපු කාලය සිහි වීමේ අවස්ථාවක් මේ ළඟ දිනක දී මට
උදාවිය.
ඒ “ ඇස්බැන්දුම“ ගෙදරට පැමිණි දිනයයි. “ඇස්බැන්දුම්“ පර්සලය හා නිවසට
පැමිණෙන තෙක් ලිහා බලන්නට එපැයි මා විසින් පනවා තිබූ නීතිය නිසා , මා නිවසට
එන විට ද කොල්ලා සියලු වැඩ අතහැර පාර්සලය දෙස බලමින් මේසය වටා පැදකුනු
කරමින් සිටිනු දැකිය හැකි විය.
කොල්ලා ඉතා අසරණය , මට ඔය වයසේ දී ඔය වැනි අණක් ලැබී තිබුනි නම් මෙලහට
පාර්සලය ගලවා බලා එහි ඇති පොත් යහළුවන් සමඟ බෙදා හදා ගෙනද අවසන්ය. ඒ අපේ
කාලයයි. අද දරුවන්ට නිවසේ මිදුලට බැසීමට ද සිය වතාවකටත් වඩා හොඳ හේතු
දැක්වීමක් සිදු කිරීමට සිදු වේ.
කැලේ කොලේ නිරුවත් දෙපා වලින් සෙල්ලම් කිරීම නිසා පා ඇගිලි පසාරු කරන්
ශරීරය තුලට ඇදී විත් ශරීරය අරක් ගත් ඇති පාංශු ජීවීන් තවමත් අපව කුල්මත්
කරන බැව් , කෙහෙල් කොරටුවේ චූටි මහත්තයාගේ මේ අපූරු කතාන්දර පොත කියවද්දී
මට දැනී ගිය දෙයකි.
පොතේ ඉන්නා චූටි මහත්තයා කරන කියන හැමදේම මාගේ පංචේන්ද්‍රියන්ට දැනෙන්නට
ගත්තේ ඒ නිසා වන්නට ඇත. මා කෙහෙල් කොරටුවේ චූටි මහත්තයාට වඩා තරමක වැඩිමහලු
කාන්තාවක වුව ද අප අත්විද ඇති කාලය ඒ තරමේ පරහක් නැති කාලයක් බවත් හිටි
අඩියේම පෘථිවිය මහා වේගයෙන් කැරකීමට පටන් ගෙන ඇති බවත් මට වැටහෙන්නට පටන්
ගත්තේ ද පොතේ අවසන් පිට්ට කියවා ඉසඹුවක් ලද විට යි.
කොල්ලා උකුලට ගෙන මේ පොත කියවා දීමට මට සිදු වන්නේ කොල්ලා තාම එකේ පන්තියේ
වන බැවිනි.නමුත් පොතේ කතාව මගේ හිතේ ඇදෙන තරමට කොල්ලාට කතාව කියා දීමට මට
හැකි බව මගේ විශ්වාසයයි.
කොල්ලාගේ පැත්තෙන් කතාව ගැන අදහස් පැවසීම පසෙක තබා මා මෙසේ ලියන්නේ අද
කාලයේ දරුවන්ට වඩා අද මැදිවිය පැන්නීමටද ආසන්නව සිටන මාහට මේ පුංචි ළමා
කතාන්දර පොත ලබා දුන් වින්දනයට කෘතගුණ සැලකීමක් වශයෙනි.
කියන්නට අතපසු විය. පොතේ චිත්‍ර ඉතාම සජීවී බැව් පැවසිය යුතුමය. කොතරම්
හිතට අල්ලනවාද යත් ඊළඟ පිට්ට කියවීමට ඇති ආසාව මැඩගනිමින් චිත්‍රය දෙස බලා
සිටියෙමි. ඇඟිලි තුඩඟින් ස්පර්ශ කර ද බැලූවෙමි. නමුත් අවසානයේ දී මට ඇති
වූ සිතුවිල්ල වුයේ මෙතරම් ප්‍රමිතියට , මෙතරම් චිත්‍ර ප්‍රමාණයක් අඩංගුව මේ
පොත මේ මිලට ලබා දීමට හැකි වුයේ ද කුමක් හෝ “ඇස්බැන්දුමක්“ නිසාම වන්නට ද
පුලුවන් බවයි.
“ හැබැයි අපි උත්සාහ ගත්තොත් ඇස්බැන්දුමක් නැතුව වුනත් මිනිස්සු පුදුම කරන්න පුළුවන්....... “
_________________________________________________________________
Review by
වෙනී
Posted on
- ළමා කාලය වෙත සැනෙකින් අපව ගෙන යන අපූරු පොතක්.
අපූරුවට භාෂාව හසුරුවලා අපේ හිත් සැනෙකින් අපේම ළමා
කාලය වෙත අරගෙන ගිහින් ඒ කාලෙ අතරමන් කරවන්ඩ පුළුවන් විදියෙ පොතක් බුද්ධිගෙ
මේ හැකියාව අපි බ්ලොග් එක තුලින් හොඳටම අත් විඳලා තිබ්බ හින්දා වෙන්න ඇති
මේ පොතට මෙච්චර සමීප වෙන්න පුළුවන් උනේ. බුද්ධිටම ආවේනික වෙච්ච
සිතුවම්..දශක හතරකට ඉස්සර ළමා කාලෙ ගෙවපු අපිටත් වඩා අද ළමා පරපුර සිත්
ගනීවියි කියලා හිතෙනවා. ඉදිරි නිර්මාණ කටයුතු වලටත් සුබ පතනවා !
_________________________________________________________________
Review by
හර්ෂණී නාකන්දල
Posted on
- අපූරු පොතක්!
බුද්ධිගේ කතන්දර දුටු මුල් කාලයේම මට සිතුනේ මේවා පොතක් ලෙසින් තිබුණානම්
කොපමණ අගේද කියලයි. බ්ලොග් එක හරහා කියවා තිබෙන නිසා මට හිතෙන්නෙ ඊළඟට එන්න
තිබෙන අනෙකුත් කතන්දර මීටත් වඩා රසවත් බවයි. මේ අවුරුදු සමයේ පොඩ්ඩන්ට
තිළිණ කරන්න " ඇස්බැන්දුම " අපූරුම පොතක්.
_________________________________________________________________
Review by පැතුම් හර්ෂණ
Posted on
- තෑගි දෙන සාස්තරේ!
චූටි මහත්තයගෙ උත්පත්ති කතාව, කුමාරත් එක්ක බයිසිකලේට
හුලං ගහපු හැටි, මාලනී ටීචර් කියාදුන්න විදියටම රාජකාරී ලියුම ලියපු හැටි
වගේ කතා සයිබර් යායෙන් කියවල තියෙන්නෙ එක සැරයක් විතරක් නෙමෙයි. අලුතෙන්
පැන්සලක් ගත්තම වේලාසනම කාලා ඉවර කරන මක්කෙයි ඒක හයි කරලා තියෙන රත්තරන්
පාට කෑල්ලයි, රචනාවක් ලියන්න ගත්තම හත් අට සැරයක් හැදෙන වතුර තිබහයි වගේ
දේවල් චිත්‍රපටියක රූපරාමු වගේ අපේ මතකයට ගේන්න චූටිමහත්තයාගේ අකුරු වගේම
චිත්‍ර ත් සමත් වෙනවා.
මිතුරුකම්, හිතවත්කම්, අහිංසකකම්, චණ්ඩිකම් කැටිවුණු චූටි චූටි රසබර
සිදුවීම් අතරෙ හැංගිලා තියෙන ලොකුම ලොකු පාඩම් ගොඩක් මේ කතා ඇතුලෙ තියෙනවා.
පොඩි ළමයින්ට වගේම ලොකු ළමයින්ටත් ලොකුම ලොකු ළමයින්ටත් කියවලා රස විඳිය
හැකි පොතක් කියලා බය නැතුව කියන්න පුළුවන්.
බඩ අල්ලං හිනහ වෙවී ඩෙනිස්ගෙ කතා කියවලා තියෙන දූල පුතාලට නැන්දල මාමලට මට
මේ පොත ගැන ලේසියෙන් ම පැහැදිලි කරලා දෙන්න පුළුවන්. චූටි මහත්තය කියන්නෙ
ඩෙනිස්ටත් වඩා වැඩ්ඩෙක්!
චූටි මහත්තයගෙ පොතේ පිටු පෙරලෙන්න පෙරලෙන්න ඔබේ මතක පොතෙත් පිටු පෙරලේවි.
හිනහ ඒවි කඳුළු පනිනකන්ම. පස්සෙ දුක හිතිලත් කඳුළු පනීවි.
_________________________________________________________________
Review by මාධව හබරකඩ
Posted on
- පිවිතුරු ළමා විය එළිය කරන්නට....!
"කෙහෙල් කොටුවේ චූටි මහත්තයා" කතාව බ්ලොග් එකේ ලිපියක්
දාපු ගමන් අපි කියෙව්වා. ඒ කාලෙදි ම්මත් කමෙන්ටුවක් දැම්ම වගේ මතකයි මේක
පොතක් ගහල විකුණන්න කියල.
ළමයින්ව සිහින ලොවකට ගෙන යා හැකි කතා මාලාවක්. අනිවාර්යයෙන්ම රෙකමදෝරු කළ යුතු පොතක්.
සුභ පැතුම්!!!
_________________________________________________________________
Review by
වාසල
Posted on
- ළමා කාලයට නැවත ගියෙමි.
බ්ලොග් එක හරහා අපිව ළමා කාලයට එක්ක ගිය චූටි මහත්තයා
මෙලෙසින් පොත් ලෙස ආව එක නම් ලොකු දෙයක්. මෙහි භාෂා විලාශය සිත් ඇදගන්නා
සුලුයි. ඉතින් කම්මැලි කමක් නැතුව කියවන්න පුලුවන්. ලස්සනම සිතුවම් වලින්
පිරිලා තියන නිසා පොඩි ළමයින් ආසාවෙන් කියවාවි. ළමයින්ට තෑගි දෙන්න පුලුවන්
පොතක් ලෙස මේක නිර්දේශ කරන්න පුලුවන්.
_________________________________________________________________
Review by
සහන්
Posted on
- සයිබරයෙන් එලියට!
IT කට්ටියට වැඩිය මේ චූටිමහත්තයව අඳුරගන්න වටින්නේ
පුංචි උන්ට, ඇත්තටම දරුවට Tab එකක සයිබර්යාය open කරල post කියවන්න දෙන්න
පුලුවන් කීයෙන් කීදෙනාටද? එහෙව් රටේ සයිබර් යාය කඩදාසියක ගහල මෙහෙම දුන්න
එකම වටින්නෙ නැද්ද?
0 comments:
Post a Comment
චූටි මහත්තයා පිළිබඳ ඔබගේ ප්‍රතිචාරය පහල තීරයේ සටහන් කරන්න. ඔබගේ ප්‍රතිචාරය අනුමත කිරීමෙන් පසු මෙහි පළ වේ.